ඇසේ සුද

ඇසේ සුද ඉවත්කිරීමට  
 
ඉන්ජෙක්ෂන් නැත 
මැහුම් නැත
වේදනාවක් නැත 

 

ඇසේ සුද සුලභ අක්ෂි ආභාධයකි. වයසට යන විට ඇසේ සුද ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවේ. මෙම ආභාධය ලෝකයේ අන්ධභාවය ඇති කරන ප්‍රධානම හේතුව වී තිබේ. ක්‍රමයෙන් ඇස් අන්ධවීම ඇති කරන මෙම  රෝගී  තත්ත්වය, දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල ද බහුලව දක්නට ලැබේ.  ඒ සඳහා විවිධ ප්‍රතිකාර ඇතැයි සඳහන් වුවද නිසි පෙනුම ගෙන දෙන පිළිගත් එකම ප්‍රතිකාරය සැත්කම් ප්‍රතිකාරයයි. එමෙන්ම ඇසේ සුද ඉවත් කිරීමට ඇසට ඉන්ජෙක්ෂන් විදීමක් හෝ මැහුම් දැමීමක් නොකර වේදනාවක් නොමැතිව සිදුකල හැක. 

cataract.vs normaljpg
Glare in cataract patients

ඇසේ සුද ඇති වන්නේ ඇයි ?

 

ඇසේ සුද ඇති වීම යනු ඇස තුළ ඇති කාචයේ පැහැදිලි බව නැති වී යාමයි. මෙම තත්ත්වය ඇසේ ඇති කාචයේ අඩංගු ප්‍රෝටීන වල වෙනස්කම් ඇතිවීමෙන් ඇතිවන තත්ත්වයකි. බිත්තර සුදුමදයේ ප්‍රෝටීන්වල ඇති  පැහැදිලි බව රත්වීම සමඟ සුදු පැහැ ගැනීමක් සිදුවේ. මෙම තත්ත්වය යම් තරමකට මෙම ක්‍රියාවලියට සමාන කළ හැකිය.

Cataract vs Norma

ඒ නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද ?

 

ඇසේ සුද ඇති බොහෝ දෙනාට මුල් අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් නොදැනේ. විශේෂයෙන්ම ඇසේ සුද තිබුනත් ලඟ පෙනීම නැතිවන්නේ නැත. එම නිසා රෝගය උත්සන්න වන තුරුම බොහෝ අය සැත්කමට යොමු වන්නේ නැත. ආභාධය වැඩිවත්ම ඇසේ පෙනීම අපැහැදිලි වීමට පටන් ගනියි. රෝගියාට ඇසේ පෙනුම අඩු වී යාම නිසා ආලෝකය දෙස බලන විට මීදුමක් සේ දිස් වීමට පටන්ගනී. 

රෝගයේ මුලික අවස්ථාවේ දී රාත්‍රියට විදුලිපහන් ආලෝකය (Glare ) නිසා දැඩි අපහසුතාවක් දැනේ. රාත්‍රී කාලයේ ඉදිරියේන් එන මෝටර් රථවල ආලෝකය දෙස බැලීම අපහසුවේ.  වර්ණවල ත්‍රීව්‍රතාවය අඩුවේ. අවසානයේ කියවීමේ අපහසුතාවය සහ නිතර කණ්ණාඩි මාරුකිරීමට සිදුවීම වැනි අපහසුතා ඇතිවේ. කලාතුරකින් සමහරුන්ට පොත්පත් කියවීමට පුළුවන් වුවත් පෙනීම අපැහැදිලිය. මෙසේ වන්නේ කාචයේ ඝනත්වය වැඩිවීම නිසාය. එවිට ඇසේ  කාචය මගින්  ආලෝකය නාභිගත කිරීමේ බලය වැඩි වේ. එමනිසා තමාගේ සුපුරුදු උපැස් යුවල  නැතිවද කියවීමට පුළුවන. එහෙත් සුද වැඩිවීමත් සමඟ ක්‍රමයෙන් ලැබු පෙනුම නැවත නැතිවී යයි.

Cataract removal

ඇසේ සුද ඇතිවීමට හේතු මොනවාද ?

වයස්ගත වීමේදී ඇසේ කාචයේ ඇතිවන වෙනස් වීම මෙයට ප්‍රධාන හේතුවයි. නොයෙකුත් කායික රෝග ඇතිවීම සුද ඇතිවීමේ අවදානම වැඩි කරයි. පාලනය නොවුණු දියවැඩියාව මේ අතර ප්‍රධානය. මීට අමතරව අප ගන්නා යම් ඖෂධ වර්ග නිසා සුද ඇතිවීමට ඉඩ තිබේ. උදාහරණ වශයෙන් හන්දි රුදාව හා ඇදුම රෝගය සදහා භාවිතා වන ප්‍රෙඩ්නිසිලෝන් ( prednisolone) නැමැති ඖෂධය දිගු කලක් ගැනීමේදී මෙම අවදානම ඇති වේ.  දුම්බීම හා මත්පැන් භාවිතය ඇසේ සුද ඇති වීමට තවත් හේතුවක් වේ. ඇසට සිදුවන අනතුරු නිසා ඇසේ කාචයට හානි වීමෙන් ද සුද ඇති වෙයි. සමහර විට මෙය අනතුරක් සිදු වූ විගසම හෝ කලක් ගතවී සිදුවිය හැකිය. 

එසේ ඇතිවන රෝගයක් වන රුධිරග්‍රාහී පටල ප්‍රදාහය (uveitis) නිසා අතුරු ආභාධයක් ලෙසද ඇසේ සුද ඇතිවීමට ඉඩ ඇත.

අධික සූර්යාලෝකයට දිගු කාලයක් තිස්සේ නිරාවරණය වීම නිසාද මෙම තත්ත්වය ඇතිවන බව ඇතැම් පර්යේෂණ මගින් හෙළි වී තිබේ. පර්යේෂණ වලට අනුව අළුත් එළවළු පළතුරු ආහාරයට ගැනීමෙන් සුද ඇතිවීමේ තත්ත්වය අවම කර ගත හැකිය. 

ඇසේ සුද ඇති බව තහවුරු කරගන්නෙ කෙසේද ?

ඇසේ සුද ඇතැයි සැකයක් ඇති විට ඒ සඳහා ඔබ පරීක්ෂා කරන අක්ෂි වෛද්‍යවරයා වෙත ගොස් ඇසේ දෘෂ්ටි තීව්‍රතාවය (Visual Acuity) සහ සම්පූර්ණ ඇස් පරීක්ෂාවක් සිදු කරගන්න. මේ සඳහා කණිනිකාව විශාල කිරීමට බෙහෙත් දමා ඇස් පරික්ෂා කරනු ලැබේ. එවිට ඇසේ සුද තත්ත්වය, එය  කුමන වර්ගයේ සුද තත්ත්වයක් ද යන්න සහ කාචයට පිටුපසින් ඇති  දෘෂ්ටිවිතානය (Retina) සහ ඇසේ පීඩනය ආදී කරුණු පරීක්ෂා කරයි. මේවා වැදගත් වන්නේ සුද තත්ත්වය සඳහා ඉදිරි ප්‍රතිකාර පිළිබඳ තීරණ ගැනීමටය.

shutterstock_233707423
cataract-surgery
cataract-surgery

ප්‍රතිකාර මොනවාද ?

සුද ඇති වූ මුල් කාලයේ මෙන්ම බොඳ වීම වළක්වා ගැනීමට උපැස් යුවලක් පාවිච්චි කිරීමෙන් යම් තරමකට පෙනුම වැඩි වුව ද ක්‍රමයෙන් ඇසේ බොඳවී යාම වැඩි වීමට පටන්ගනී. එවිට කළ යුතු එකම ප්‍රතිකර්මය කාච බද්ධ කිරීම සඳහා ශල්‍යකර්මයක්  කිරීමය. මෙම සැත්කම ඇසට ඉන්ජෙක්ෂන් විදීමක් හෝ මැහුම් දැමීමක් නොකර වේදනාවක් නොමැතිව සිදුකල හැක. 

අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම කරන්නේ කෙසේද ? අක්ෂි කාච බද්ධ කිරිම ලෝකයේ බහුලවම සිදුවන ශල්‍යකර්මයකින් වඩාත් සාර්ථකම ශල්‍යකර්මයවේ. මෙම සැත්කම ක්‍රම කිහිපයකට සිදු කළ හැකිය. ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මයේදී මුලින්ම කරන්නේ ඇස නිර්වින්දනය කිරීමයි. ඒ සඳහා බොහෝවිට හිරිවට්ටන බෙහෙත් බිංදු ඇසට දැමීම ප්‍රමානවත් වේ. ලොව දියුණු රටවලදී බහුලවම සිදුකරන ශල්‍යකර්මය ෆේකෝ සැත්කම (Phacoemulsification with foldable IOL implantation) ලෙස හැඳින්විය හැක. අතීතයේ මෙම සැත්කම ඇසතුලට ඉන්ජෙක්ෂන් ලබාදී විශාල කැපුම් යොදා සිදුකලත් අද වන විට ඉතා සරලව එහෙත් සාර්ථකව සිදු කිරීමට ෆේකෝ ක්‍රමය යොදාගනී. මෙම නවීන ක්‍රමවේද අනුව මෙම සැත්කම ඉතා සියුම්ව සිදු කරනු ලැබේ. රෝගියාට කිසිදු වේදනාවක් ඇති නොවේ. ඇසේ කුනීතයේ බාහිර කෙළවර කුඩා කැපුමක් (එනම් මිලි මීටර් 2.2- 2.6) ඇති කර ඒ තුළින් පෑනක් වැනි විශේෂ උපකරණයක් මගින් කාචය කුඩා කොටස් වලට කඩා නැවත එම උපකරණය මගින්ම එම කොටස් උරා ගැනීමක් සිදු කෙරේ. ඉන්පසු එම කාචය තිබුණු අවකාශයට කුඩා කෘතිම කාචයක් ඇතුළු කරයි. මෙම ශල්‍යකර්මය සඳහා ෆේකෝ යන්ත්‍රය (Phaco machine) නම් උපකරණය අත්‍යාවශ්‍ය වේ. මෙය අභිද්වනි තරංග (Ultrasound) මගින් සිදු කරයි. මෙම උපකරණය හඳුන්වාදීමට පෙර සහ තවමත් සමහර රටවල ඇසේ ඇති කාචය වටා විශාල කැපුමක් සිදු කර සම්පූර්ණ වශයෙන්ම පිටතට ගෙන ශල්‍යකර්මය කරනු ලැබේ. එහෙත් එම ක්‍රමයට ශල්‍යකර්ම කිරීමේදී කැපුම විශාල බැවින් සුව වීමට වැඩි කාලයක් ගතවේ. ශල්‍යකර්මයෙන් පසුව පෙනුමේ දියුණු විමද, ෆේකෝ ශල්‍ය කර්මයෙන් තරම් සාර්ථක නොවීම ද බොහෝ විට ඉඩ ඇත.

shutterstock_233707423

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමට වයස බාධාවක් විය හැකිද ?

මෙම සැත්කමට වයස බාධාවක් නොවේ. එහෙත් දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ ඇදුම යන රෝග වලින් පෙලේ නම් සැත්කමට පෙර එම රෝග මනා ලෙස පාලනය කිරීම අවශ්‍යය.  ඕනෑම වයසකදී සැත්කම කළ හැකිය.

ඇසේ සුද ඉවත් කරන ශල්‍යකර්මයකදී කාචයක් දැමීම අනිවාර්ය විය යුතුද ?

ඇස තුළ ඇති කාචයේ කාර්යය වනුයේ පිටත සිට ඇස තුළට එන ආලෝක කිරණ එකතැන් කිරීමයි. නරක්වූ කාචය ඉවත්කර එම කාර්යය සිදුකිරීමට එනම් ආලෝකය නාභිගත කිරීම සඳහා කෘතිම කාචයක් දැමීම අනිවාර්යයි.

ඇසට දමන කාච වර්ගය තෝරා ගන්නෙ කෙසේද ?

වර්තමාන වෙළඳපොලේ  එක්  එක් මිලට  නොයෙකුත් අක්ෂි කාච වර්ග ඇත. එහෙත් සෑම වර්ගයකම කාච එක සමාන නැත. ඒ ඒ රෝගියාට ඇසේ තත්ත්වය අනුව තෝරාගත යුතු කාචය වෙනස් වේ. කාචය මගින් සිදු කරන්නේ ඇසට ලැබෙන ආලෝකය නාභිගත කර දෘෂ්ටි විතානය මත පතිත වීමට සැලැස්වීමයි. එබැවින් ශල්‍යකර්මයක් සිදුකර කාචයක් බද්ද නොකළහොත් පැහැදිලි පෙනුමක් නොලැබේ.

කාච වර්ග විවිධ ක්‍රම අනුව වර්ග කර තිබේ. ශල්‍යකර්මය සිදුකරන ආකාරය අනුව කුනීතයේ කැපීමෙහි ප්‍රමාණය අනුව  කාච වර්ග දෙකකි.

1. නැමෙනසුලු කාච (Foldable Lens )

කාචයක් දැමීමට පෙර අවශ්‍ය පුද්ගලයාගේ ඇසේ කාචයේ මිනුම් විශේෂ ස්කෑන් (Scan) උපකරණයක් මගින් ලබාගත යුතු වෙයි. ඒ අනුව අවශ්‍ය කාචය තෝරාගත යුතුය. දියුණු රටවල වර්තමානයේ භාවිතා කරන කාච වර්ග, විශේෂ ප්ලාස්ටික් (Acrylic) වර්ගයකින් නිපදවා තිබේ.

මේවා මිලි මීටර 2.2 – 2.6 කුඩා කැපුමකින් ඇස තුලට ඇතුළු කළ පසු කාචය ඉබේම දිග හැරේ. තුවාලෙට මැහුම් දාන්න අවශ්‍ය නැත. ඉක්මනට සුව වේ. රුපියල් 6500/- සිට 25,000/- දක්වා මිලකට වෙළෙඳ පොළේ ඇත. අද වැඩි වශයෙන් භාවිතා කරන්නේ නම්‍යශීලී කාචයි.

2. නොනැමෙන සුළු කාච (Non Foldable Lens)

කුනීතයේ මීලි මීටර් 5.5 කැපුමකින් කාචය නොනමා ඇතුළු කෙරේ. මෙම ක්‍රමයේදී කැපුමේ ප්‍රමාණය වැඩිය. මැහුම් දැමිය යුතුවේ. මෙම කාචය පැළඳීමෙන් සුව වීමට පළමු අවස්ථාවට වඩා කල්ගත වේ. මීට අමතරව සමහර කාච ජලවිකාශක (Hydrophilic) ද්‍රව්‍ය වලින් සාදා ඇත. මෙවැනි දෑ යොදා සැත්කම කළ පසු සමහර අයට එම දැමූ කාචයට පිටුපස ඇති පටලය  ඝන වීම සිදුවේ. ඒ නිසා සැත්කමින් පසු ලේසර් (LASER) ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ. මෙවැනි කාච රුපියල් 1000/- සිට 5500/- දක්වා මිලකට වෙළදපොලෙන් මිලදී ගත හැක..

ඉහත අවස්ථා දෙකේදීම කියැවීමට කණ්නාඩි පැළදිය යුතුය. මීට අමතරව වැඩි මිල ගණන්වලට බහු නාබි (Multifocal) නැමෙනසුලු කාච ද වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකිය. මේවා කුඩා කැපුමකින් ඇසට ඇතුළු කළ හැකිය. මෙහි විශේෂත්වය වන්නේ ආලෝකය නාභිගත කිරීම වෙනස් කිරීමෙන් ළඟ සහ දුර දෙකම පෙනීම සඳහා සකස් කර ඇති බවයි. මේවා තරමක් මිල අධිකයි. රුපියල් 85,000/- සිට ඉහලට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය.

මෙම කරුණු වලට අමතරව රෝගියාට පවතින අනෙකුත් රෝග ගැනත් සැලකිලිමත් වියයුතුයි. එනම් දියවැඩියාව, ඇසට කලින් සිදු වූ අනතුරු නිසා කාචයේ තන්තුවලට සිදුවූ හානි ආදිය නිසාද විශේෂ කාච වර්ග භාවිතා කිරීමට සිදුවේ.

සමහර කාච ඇතුළු කිරීමෙන් පසු අතුරු ආභාධ ඇතිවන අවස්ථා තිබේ. කාච සිවිය ඝනකම ඇති වීම වැනි හේතු නිසාය. ඒවා අවම කර ගැනීම සඳහා විශේෂ ක්‍රමවේද භාවිතා කර ඇත. එසේ නොවන කාච භාවිතයෙන් රෝගියාට නැවත ලේසර් (LASER) ප්‍රතිකාර කිරීමට සිදුවන අවශ්‍යතා වැඩි වේ. මිල අඩු නොනැමෙනසුලු  විශාල කාච පාවිච්චියේදී මැහුම් දැමිය යුතුය. එවිට මැහුම් සම්බන්ධ අතුරු ආභාධ ඇතිවිය හැකිය. උදාහරණ ලෙස ආසාදන ඇසේ කැවීම හා විසම දෘෂ්ටිය වැනි රෝග තත්ත්ව ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. එමෙන්ම රෝගියාගේ ඇසට ගැලපෙන කාචයේ බලය, සමහර කාච වර්ග වල නොමැති වීම අක්ෂි වෛද්‍යවරුන්ට කාච තෝරාගැනීමේ දී ඇතිවන ගැටළුවකි. සමහර මිල අඩු කාච වර්ග ඇතුළු කිරීමේදී කැඩීයාම වැනි ගැටලු ද ඇති වේ.

ඇසේ සුද රෝග තත්ත්වය අවම කර ගැනීමට යහපත් සෞඛ්‍ය පුරුදු, නිවැරදි ආහාර රටාව සහ නිදන්ගත රෝග පාලනය ඉතා වැදගත් වේ. ඇසේ සුද ඇති වූ විට ඒ සඳහා සුදුසුකම් ලත් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු ලවා අවශ්‍ය ප්‍රතිකාරය වන සුද ඉවත් කර අක්ෂි කාච බද්ද සැත්කම මගින් පෙනීම නැවත ලබා ගැනීමට පුළුවන.

Phaco machine
MoS2 Template Master
cataract.vs normaljpg
Phaco machine
surgical-team 2